----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Saturday, February 27, 2021

සීයාගෙන් මුණුපුරාට අවවාද (විරිදු) - කසීර පෙරේරා

මුණුපුරා:   ආයුබොවන් සීයෙ ඉතිං දැන් කොහොමද වාසදේස
ගොතලා කවියෙන් කියන්න හැකි ද ආප්තෝපදේශ
සීයා:   අපොයි මොකොද කියන්න බැරි

සීයා:    කියන්න නම් හැකිය පුතේ හොඳ රසබර පද බැඳලා
අහන්න මා දෙන ඔවදන් අවධානෙන් සවන් හෙළා
මුණුපුරා:    හොඳයි හොඳයි කියන්නකෝ

සීයා:    කිරි කල දහසකින් වුවත් කළු කපුටෙකු නෑව්වාට
නැතේ එයින් කිසි ඵලයක් සුදු කරන්න බෑ කපේට
මුණුපුරා:    ඒක ඇත්ත, සුදු සීයේ

සීයා:    මඩ වතුරේ සුදු රෙදිපිළි සේදීමත් ඒ වගේ ය
කොච්චර සේදුවත් ඉතිං මැකෙන්නෙ නෑ දුඹුරු පැහැය
මුණුපුරා:    සීයගෙ සිල් රෙද්ද වගේ

සීයා:    රඹුටන් කන්නට ගිය කල හෝදන්නට අවැසි නැතේ
එහි රසවත් මදේ කොටස මැනවිත් සුරැකිලා ඇතේ
මුණුපුරා:    අඹ අන්නසි එහෙම නේද?

සීයා:    ජම්බු පේර කෑවොත් ඒ ලෙස හෝදන්නේ නොමැතිව
නොයෙක් රෝග වැළඳීමට ඉඩ ඇති බව සිතට ගනුව
මුණුපුරා:    වෙරළුත් සෝදලා කන්න

සීයා:    පෙරැළෙන ගල්වල බැඳෙන්නෙ නැති බව කියවේ පාසී
බැසයන වතුරේ ඉනි පා කර නැත ලැබෙනුයෙ වාසී
මුණුපුරා:    හකුරු වක්කඩේ නොබඳිමි

සීයා:    තියෙනව නම් ඕනැ පදං විසි කරන්න රන් කාසී
ජීවත් වෙන්නට පුළුවනි සෑමදාම සිනා සිසී
මුණුපුරා:    මසුරං වටිනා කතාව

සීයා:    හෙට එන ලොකු දිනුමක් ගැන අද සිතමින් ඉන්නෙ කුමට
අද ඇති සුළු සතුට වුවද විඳගනු මැන එක හුස්මට
මුණුපුරා:    අදට වැඩිය හෙට නරකද?

සීයා:    යමක් සිද්ධවුණාට පසු අප කිසිවිට නොසිතූ ලෙසට
අඬන්නෙපා පලක් නැතේ කිසිදා ඉහිරිච්ච කිරට
මුණුපුරා:    ඉවසීමයි, සැනසීමයි

මුණුපුරා:    මේ වටිනා ඔවදන් අද රස කවියෙන් කියා දුන්න
සීයේ මගේ ආයුෂ ගෙන තව යහතින් කල් ගෙවන්න

සීයා:    පුතේ කෙනෙකුගේ ආයුෂ තව කෙනෙකුට වැඩක් නැතේ
මා දුන් උපදෙස් පිළිගෙන දිගු කල් වැජඹියන් පුතේ


© Kaseera Perera, 2021


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

No comments:

Post a Comment

මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

නුඹ ඇවිත් ගිය පසු - සෝමලතා හේරත් මැණිකේ