----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Sunday, February 28, 2021

කළුවර රැයේ - චන්ද්‍රා ආරච්චිගේ

කළුවර රැයේ, නිදිබර පැයේ
සිහිනේ සුවය සොයමී
ඔබ නැත ප්‍රියේ, අද පෙර ලෙසේ
සයනේ තනිව සිටිමී
තනිකම දැනේ, හදවත රිදේ
අඳුරේ සිතින් හඬමී
යළි හෙට දිනේ, එනු මැන ළඳේ
පෙර සේ බලා සිටිමී

මා නොම සිතා, පැවසූ වදන්
ඔබ රිදෙව්වාදෝ
ඒ ගැන කතා, දුර දිග ගොසින්
සිත හැඬෙව්වාදෝ
මා ඔබ හැඬෙව්වාදෝ

ඒ සුළු දෙයින්, කම්පා නොවෙන්
මට සමාවෙන්නේ
සුපුරුදු ලෙසින්, උණුසුම අරන්
කවදදෝ එන්නේ
ඔබ කවදදෝ එන්නේ

© Chandra Arachchige, 2021


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

නෙත හඬනවා - චන්ද්‍රා ආරච්චිගේ

නෙත හඬනවා
සිත රිදෙනවා
හිස බමනවා මාගේ
ඒ හදවතේ
සිසිලක් නැතේ
සිත ගලකි ඈගේ

මා අමනයෙකි
නොලැබෙන දෙයක
පසු පස දුවන සැමදා
ඇය මිරිගුවකි
ළංවෙනු නොහේ
දිවි කතරෙ කිසිදා

හෙට හිරු උදා
වෙන්නට එපා
මට අඳුර සුවදෙයි
ඇගෙ අත සදා
නොලැබෙන නිසා
මට ලොවම අහිමියි

© Chandra Arachchige, 2021


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Saturday, February 27, 2021

සීයාගෙන් මුණුපුරාට අවවාද (විරිදු) - කසීර පෙරේරා

මුණුපුරා:   ආයුබොවන් සීයෙ ඉතිං දැන් කොහොමද වාසදේස
ගොතලා කවියෙන් කියන්න හැකි ද ආප්තෝපදේශ
සීයා:   අපොයි මොකොද කියන්න බැරි

සීයා:    කියන්න නම් හැකිය පුතේ හොඳ රසබර පද බැඳලා
අහන්න මා දෙන ඔවදන් අවධානෙන් සවන් හෙළා
මුණුපුරා:    හොඳයි හොඳයි කියන්නකෝ

සීයා:    කිරි කල දහසකින් වුවත් කළු කපුටෙකු නෑව්වාට
නැතේ එයින් කිසි ඵලයක් සුදු කරන්න බෑ කපේට
මුණුපුරා:    ඒක ඇත්ත, සුදු සීයේ

සීයා:    මඩ වතුරේ සුදු රෙදිපිළි සේදීමත් ඒ වගේ ය
කොච්චර සේදුවත් ඉතිං මැකෙන්නෙ නෑ දුඹුරු පැහැය
මුණුපුරා:    සීයගෙ සිල් රෙද්ද වගේ

සීයා:    රඹුටන් කන්නට ගිය කල හෝදන්නට අවැසි නැතේ
එහි රසවත් මදේ කොටස මැනවිත් සුරැකිලා ඇතේ
මුණුපුරා:    අඹ අන්නසි එහෙම නේද?

සීයා:    ජම්බු පේර කෑවොත් ඒ ලෙස හෝදන්නේ නොමැතිව
නොයෙක් රෝග වැළඳීමට ඉඩ ඇති බව සිතට ගනුව
මුණුපුරා:    වෙරළුත් සෝදලා කන්න

සීයා:    පෙරැළෙන ගල්වල බැඳෙන්නෙ නැති බව කියවේ පාසී
බැසයන වතුරේ ඉනි පා කර නැත ලැබෙනුයෙ වාසී
මුණුපුරා:    හකුරු වක්කඩේ නොබඳිමි

සීයා:    තියෙනව නම් ඕනැ පදං විසි කරන්න රන් කාසී
ජීවත් වෙන්නට පුළුවනි සෑමදාම සිනා සිසී
මුණුපුරා:    මසුරං වටිනා කතාව

සීයා:    හෙට එන ලොකු දිනුමක් ගැන අද සිතමින් ඉන්නෙ කුමට
අද ඇති සුළු සතුට වුවද විඳගනු මැන එක හුස්මට
මුණුපුරා:    අදට වැඩිය හෙට නරකද?

සීයා:    යමක් සිද්ධවුණාට පසු අප කිසිවිට නොසිතූ ලෙසට
අඬන්නෙපා පලක් නැතේ කිසිදා ඉහිරිච්ච කිරට
මුණුපුරා:    ඉවසීමයි, සැනසීමයි

මුණුපුරා:    මේ වටිනා ඔවදන් අද රස කවියෙන් කියා දුන්න
සීයේ මගේ ආයුෂ ගෙන තව යහතින් කල් ගෙවන්න

සීයා:    පුතේ කෙනෙකුගේ ආයුෂ තව කෙනෙකුට වැඩක් නැතේ
මා දුන් උපදෙස් පිළිගෙන දිගු කල් වැජඹියන් පුතේ


© Kaseera Perera, 2021


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, February 24, 2021

ඔබෙ වදන්වැල් - කසීර පෙරේරා

ඔබෙ වදන්වැල් මා සවන් යුග පිනාලූ
කාලයක් තිබුණා
කොවුල් කූජන නිරතුරුව ඇසුණා
ඒ වසන්තය නිමවුණා
සිතක පිපිමල් පරවුණා
රැහැයි හඬ නැගෙනා
සවන් යුග පෙළනා
මා සවන් යුග පෙළනා

අතිරසත් තිත්තට දැනෙන දින
උදා වී ඇත දුක්බරයි
අපට මේ ඉරණම උරුම යැයි
සිතුවෙ නෑ මා ඇත්තමයි

එක්ව දෙදෙනා පා නැගු මග
එදා වගෙ නොව දුක්බරයි
ඉතින් දෙමගක යන්න කාලය
පැමිණ ඇති බව ස්ථිරයි

© Kaseera Perera, 2021


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ආදර සුදු කෙල්ලේ - රසන්ත චන්ද්‍රසූරිය

මහ මග යන විට, ඔබ දුටු සැම විට
සිත විකල් වුණා නොවෙදෝ
ඔබ මා දෙස බැලු සඳ මගෙ හදවත
සසල වුණා නොවෙදෝ
මිණි කැට නෙතු යුග, සඳවන් ඔබෙ වත
මා වශී කළා නොවෙදෝ
නාලිය ගමනින්, ඇවිදින ප්‍රිය කත
කියන්න ඔබ කවුදෝ
මට කියන්න ඔබ කවුදෝ

ඊයේ උදයෙත් බස් නැවතුම් පොළ ඔබ සිටියා මතකයි
ඔබෙ නෙත් මා නෙත් සුළු මොහොතක් හෝ හමුවූවා මතකයි
අද ඔබ වෙනතක දෑස යොමා
නොතකා ඉන්නේ ඇයි දෝ මා
කියන්න වී නොපමා
මට කියන්න වී නොපමා

හෙට දිනයේ හෝ හිත දිරි වඩවා ඔබ ළඟ හිඳගන්නම්
මා සිත ඉපදුණු ආලය පිළිබඳ බිඳුවක් පවසන්නම්
නව හිරු පීදෙන අරුණැල්ලේ
මගෙ ලොව සරසාලන කෙල්ලේ
ආදර සුදු කෙල්ලේ
මගෙ ආදර සුදු කෙල්ලේ

© Rasantha Chandrasuriya, 2021


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, February 21, 2021

මහලු මිනිසාගේ ගීතය - කසීර පෙරේරා

තරුණ ජීවිතේ නැවත නොඑන්නට ගෙවී ගියා
හදට සිසිල් සුවයක් නොම ගෙන දී මැකී ගියා
සිතේ නැවුම් හැඟුමක් ඉතුරුව නෑ
සිතේ සවිය මිස ගතේ සවිය නෑ
සැන්දෑවේ ජීවන සැන්දෑවේ

පැතු පැතුම් නොම සිතූ ලෙසින් ඇත බිඳී වැටී
සදාතනික දුක සිතේ රැඳී ඇත කඳුළු බිබී
හිරු නැග එන මුත්, බැස යන මුත් ඉස්සර වාගේ
පාළුව මිස ජීවිතයේ නැත වෙනසක් මාගේ

ලබා උපන් හැටි, බඹා කෙටූ හැටි අසා ඇතේ
පෙර පව, කරුමය, ඉරණම පිළිබඳ අසා ඇතේ
එනමුත් මට මේ තනිකම හිමිවේවියැයි කියා
සිහිනයකින් හෝ සිතුවේ නෑ පෙර දිනේ එදා

© Kaseera Perera, 2021


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, February 17, 2021

දිගැසියේ - ජනක සෙනෙවිරත්න

දිගැසියේ දිගැසියේ කොහිද සැඟවී ගියේ
මිහිකතින් මතුවෙන්න කැකුලියක සේ නොඉඳුල්

ආදරේ මුල් කවිය ලියූවේ නුඹ ගැනයි
ඉන්නවා දෝ අදත් කෝල හැඟුමෙන්
පංතියේ කෙළවරක හිඳ අකුරු කළ නුඹට
නොදැනුණි ද නෙත් සරක උණුසුමක්

බොහෝ දුර පිය නගා ජීවිතය හති සලයි
තවම නුඹ රුව සිතේ කෙළවරක සැඟවිලා
දුරින් හිඳ සුවඳ දුන් නුඹය ඒ මල් කැකුළ
කාගෙ හෝ හදක් ළඟ අද ලැඟුම් ගෙන ඇති

අපේ වත වියපත්ය කාලයේ කතර මැද
ඒත් හිත හැමදාම තරුණයි
හමුවුනොත් පාර තොට අහම්බෙන් අතරමග
නැත වරද නගනු මුදු සිනහවක්

© Janaka Seneviratne, 2021


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, February 9, 2021

සුන්දර කඳුරට - ගංගා ඒකනායක

ගේයපද: ගංගා ඒකනායක
සංගීතය: අරුණ කන්නංගර
ගායනය: ටියුරින් ෆොන්සේකා
සංයුක්ත තැටිය: රුවැත්තියේ (2010)

සුන්දර කඳුරට පින් පිරි සිරී බර සෙංකඩගල පුරයේ
දන්ත ධාතු හිමීගෙන් පිවිතුරු වූ අන්තිම අග නගරේ
ශෝභන මහනුවරේ

සුවාසු දහසක් දහම් පහස ලද සම්බුදු මාහිමිගේ
දන්ත ධාතු සරණින් සුවපත් වූ ශෝභන මහනුවරේ
නෙත් කරුණා දහරේ, දන මන පුබුදු කෙරේ

දෙනෝ දහක් දන තුන් සිත පහදා බවුන් වඩන පහසින්
බුදු රැස් මාලා ගුවනට මුසුවී දෙව් රම් වෙහෙර ලෙසින්
නෙත් කරුණා දහරේ, සම්බුදු සිසිල දැනේ

ඩෙංකුටු බෙර හඬ කස පුපුරන හඬ කන්දෙන් කන්ද හැපේ
කඳු ගැට අතරින් ගලන රිදී දිය දහරින් සුවය සැදේ
නෙත් කරුණා දහරේ, සම්බුදු සිසිල දැනේ

සුන්දර කඳුරට පින් පිරි සිරි බර සෙංකඩගල පුරයේ
දන්ත ධාතු හිමිගෙන් පිවිතුරු වූ අන්තිම අගනගරේ
ශෝභන මහනුවරේ, සෙංකඩගල පුරයේ
ශෝභන මහනුවරේ, දන මන පුබුදු කෙරේ
ශෝභන මහනුවරේ, සම්බුදු සිසිල දැනේ

© Ganga Ekanayake, 2010


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, February 8, 2021

නිසල හද කර සසල - චන්ද්‍රා ආරච්චිගේ

නිසල හද කර සසල
සිනා පෑ නෙතු සඟළ
ළබැඳි සුකොමල ලලන
අතරමග මුණගැසුණ
දිවියේ අතරමග මුණගැසුණ

සොඳුරු සිතුවිලි පෙරදා නම්
තිබුණු මුත් සිත පුරවා
ආදරෙන් පැරදුණ දා
සියලු දේ අමතක කර මා
මතක පොත ගිනි තැබුවා

රාග ගිනි සිත ඇතුළේ
දැල්වෙතත් ගත රිදවා
ආදරේ බිඳකුදු වත්
එහි නැතේ ඔබ සඳහා
මා නොවේ ඔබෙ කුමරා

© Chandra Arachchige, 2021


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, February 7, 2021

නීල වලාවේ සැනසේවී - සුභාෂිණි ජයතිලක

නීල වලාවේ සැනසේවී
නැළවී සඳ සාවී
මල් පියල්ලේ රොන් උරා
බිඟු කැල සැතපේවී
සුසිනිඳු වැල්ලේ සුව දේවී
මුදු මඳනල මුසු වී
සිත් යායේ මල් පිබිදේවී
සුපෙම් සුව විඳීවී

මලවි හී සරින් කිති කැවුණු දෙහද අරා
සුවඳ දී පිපුණි පෙම් මල් දිවි ඇති තුරා
අත්වැල් බැඳ යන මග එළි කළ සිත් පුරා
පහන් සිල ඔබයි දැල්වුණු ගනඳුර ඉරා

විහඟ ගීතයක සිහින් සර ඈත ඇසුණා
ආදරේ නමින් සුමියුරු තනුවක් බැඳුණා
ජීවන ගීතය එයයි අපි එක්ව ගයනා
සසර ගමනේ සපථ ප්‍රේමයක අගනා

© Subhashini Jayathilaka, 2021


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, February 5, 2021

ඇතැම් විට මා ඔබ දිහා - රසන්ත චන්ද්‍රසූරිය

ඇතැම් විට මා ඔබ දිහා
බලන විට නෙත් කරකවා
ඔබ ද මා දෙස බලන බව මට
හොඳින් වැටහෙනවා
අපේ දෙනෙත් හමුවෙනවා

සුපිපි මල් කැකුලක් වගේ
උදේ බසයෙදි හමුවෙනා
මිහිරි හැඟුමන් මා සිතේ
නිබඳ පුබුදාලනා
ඔබයි මා ලොව සුරඟනා

දිනෙක සිත දිරි උපදවා
ඔබේ අසලින් වාඩි වී
මගේ හදවත ගැයෙන පෙම් ගී
ඔබට මුමුනන්නම්
ඔබයි මා ලොව සුරඟනා

© Rasantha Chandrasuriya, 2021


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ළඟදීම පළ කළ ගේය පදමාලාව

අතීත වැහිබර දවසක - රසිකා ඉඹුල්ගොඩ