වලා බැම්ම පහුකර මම හැමදාමත් යනවා
මං නොබැලූ ඒ පෙරහැර මතකය රිදවනවා
පමාවුණේ මං ම නේද මට තහංචි පනවා
එන ඇහැළක් ආවේ නැහැ සැමදා හිත දනවා
හැමදාමත් අලුත් වෙලා පෙරහැර එන ගානේ
හිත ළඟ සිටි අයියණ්ඩියෙ එය සිහිවෙනවා නේ
පමාවෙලා මට ඇහිලා ඒ හඬ රෑ පානේ
මං එන විට පෙරහැර ගොස් කවුරුවත් ම නෑ නේ
සෙංකඩගල දැන් වැහිමල් එදා වගේ නැතුවට
චිරි චිරි හඬ මඩ වතුරේ මට ගානක් නැතිවට
කඳු යා කර නුවර මැවුණ දේදුන්නත් මැකුණට
හිත ඇතුලෙන් මං යනවා මට නොආව ඇහැළට
ඔය තරමට ආඩම්බර රන්දෝලිය හින්ද දෝ?
බර අඩි තිය තිය යන්නට ඉගැන්නුවේ කවුරු දෝ?
සැහැල්ලුවෙන් සිටි ඒ සිත කොහේ කොහොම වැටුණ දෝ?
පසුකර ආ දුර, කාලය එය අරගෙන ගියා දෝ?
තවමත් මං එදා හිටිය නුවර ළමා ම යි හිතින්
ඒත් අඬන්නට වාගෙ ම නාඬන්නත් දනිමි දැන්
හිතක් නැතිව කිමද බලා මේ පෙරහැර නෙත් වලින්?
මං නැතිවට හැමදාමත් ඒ පෙරහැර ගියාදෙන්!
© Rupika de Silva, 2023මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com
No comments:
Post a Comment
මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.